Saturday, August 01, 2009

Woh jo hum mein tum mein qaraar tha

මෙය බොහෝ ගායක ගායිකාවන් පිරිසක් ගැයූ ගසල් ගායනයකි. එය එතරම්ම ප්‍රචලිත සහ සුමධුර පැරණි පැදි පෙළකි. මෙහි පෙම්වතා යන්න ගායිකාවක් සඳහාද එය ගායකයෙකු ගයන විට පෙම්වතිය ලෙසින්ද වෙනස් කොට ගත යුතුය.

ඔබත් මාත් අතර
අන් කිසිවෙකු නොදත්
අප දෙදෙනා එක්ව බැඳ තැබූ දෙයක් විය
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි
ඉටු කරනට බොහෝ පොරොන්දුද විය
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි

සිත් රිදෙන කතාද ඇරඹුණි, තුටින් වූ සාමිචිද විය
ඒ හැම දෙයක්ම කලෙකදි නොරිස්සුම් සහිතවූ බව
අද ඔබට මතකදැයි
නැතහොත් අමතකදැයි
මම නොදනිමි

විටෙක ඔබටද මටද ඇවැසි දේ විය
විටෙක ඔබටද මටද විසඳුමක් විය
විටෙක ඔබද මාද ආදරවන්තයින් බවට පත්වීමු
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි

යමෙකු ඔබගේ පෙම්වතායයැයි සැලකුවේද
යමෙකු කෙරෙහි ඔබ විශ්වාසය තැබුවේද
ඒ මාය අදටත්
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි





daayam pada huwa

වසර 1914 ඔක්තෝම්බර් 07 වැනි දින උපත ලැබූ අඛ්තරීබායී ෆයිජාබාදී බිළිඳිය වයස 07 දී සංගීතයේ අතපොත තැබුවාය. මේ වන විටත් ඇගේ පියාගේ දෙවන විවාහය වූ තම මවවද තමා සහ නිවුන් සොයුරියවද හැර දමා පියා වෙනත් විවාහයක් වෙත ගොස් තිබුණි.

සංගීතය හදාරන පෙළපතකින් නොපැමිණියද ඇගේ මාමාගේ බල කිරීමට අගේ මව විසින් ඇයව සංගීතය පුහුණු කිරීමට ශාස්ත්‍රීය සංගීතවේදීන් වෙත රැගෙන යන ලදි.

වයස අවුරුදු 15දී ඇය භූමිකම්පාවෙන් අසරණවූ සරණාගතයන් වෙනුවෙන් පැය 06ක් එක දිගට ගී ගැයුවාය. එහිදී ඇගේ ගායනයෙන් වශීවූ සරෝජිනී නායිඳු මහත් ඉහලින් ඇයව වර්ණනා කළාය. කුණාටුවක් ලෙසින් උත්තර භාරතීය සංගීතයට කඩා වැදුණූ ඇය හැම මොහොතකම සංගීතය ප්‍රගුණ කිරීමටත් සංගීතයතුලම ජීවත්වීමටත් ප්‍රිය කළාය.

නවසිය තිහ දශකයේ හඬ සහිත සිනමාව බිහිවීමත් සමගින් සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට නිළියම තමන්ගේ ගීත ගැයීමේ සම්ප්‍රදායට අනුව බේගම් අඛ්තර්ට රඟපාන්නට අවකාශ ලැබුණි. (ලංකාවේද මෙපරිද්දෙන් රුක්මණී දේවිය බිහිවුණි.) නැගෙනහිර ඉන්දියානු චිත්‍රපට සමාගමින් ඇයව ඒක් දින් කා බාද්ශාහ් චිත්‍රපටයත් නලදමයන්ති චිත්‍රපටයත් සඳහා තෝරාගන්නා ලදි. අනිල් බිස්වාස් සංගීතය සපයන ලද රෝටී චිත්‍රපටයේ ඇය ගැයූ ගසල් ගායනා 6න් 4ක් ඉවත් කිරීමට නිශ්පාදක කටයුතු කිරීම නිසා ඇය මහත් කම්පාවට පත්වූවාය.
ගසල්, ඨුම්රි, තරාණා ආදි ගායන ශෛලීන් භාරතය තුල ප්‍රචලිත කිරීමේ මෙහෙයුමෙහි නිරතව හුන් ඇය ඒ සඳහා විශාල සේවයක් කළාය.

හිරිමල් වියේදීම තමන්ට අනුග්‍රහය දැක්වූ නිශ්පාදකයෙකු අතින් අනාථවූ මේ ගායිකාව ඉන් ලද දරුවා, පෙළපතෙහි නම්බුවත්, සංගීතයට කරන මෙහෙවරත් වෙනුවෙන් අන්වර්ථ ලෙසින් රැක බලා ගත්තාය. 1945දී එනම් ඇයට වයස 31දී ඇයව වංශවත් පෙළපතකට විවාහකර දෙන ලදි.

ඒ සමගින් ඇගේ ස්වාමියා විසින් ඇගේ සංගීතයට ඇති සියළු අයිතීන් කපා හරින ලද්දේ විය. එහි ප්‍රතිඵලය අඛ්තර් රෝගී වීමය. දිනෙන් දින තම අසරණභාවය හේතුවෙන් රෝගී වූ ඇය වසර 05ක් අවසානයේ මහත් සේ ඛෙලහීන විය. වෛද්‍යවරු නිර්දේශ කරන ලද්දේ නැවත ඇයට සංගීතය සඳහා අවකාශ ලබාදෙන ලෙසය. ඒ හේතුවෙන්ම ඇයට නැවත ගී කියන්නට අවස්ථාව උදාවිය. ඛෙගම් අඛ්තර් සංගීතය වෙත දෙවන වර ආගමනයෙන් පසු මුල්ම ගීත කිහිපය ගැයීම පිණිස ලක්නව් ගුවන්විදුලි මධ්‍යස්ථානයට පිවිසියාය. ගසල් තුනක් සහ එක් ඨුම්රි ගායනයක් ගැයූ ඇය නැවත ලද ජීවිතය වෙනුවෙන් එහිදී හඬා වැටුණාය.

ඉනික්බිති සංගීතතුල නැවත ඕ ශක්තිමත් වූවාය. හුදකලාවූවන්ගේ ආත්මයවූද, වේදනාවේ කැඩපතවූද, සුන්දර සංගීතයේ රසසාගරයක්වූද ඇයගේ ගසල් සහ ඨුම්රි ගායනය අපූරුය. ඇගේ හඬ උච්චස්ථාන කරා යාමේදී මනාව ශ්‍රවණය කළහොත් කොහේදෝ සිට අවුත් ඒ හඬට එකතුවන වේදනාවක් අපූරුවට හඳුනාගත හැකිය. බේගම් අඛ්තර් කිසි දිනෙක සුනරුත් පදවැල් ගායනය නොකළාය. ගීත තෝරාගැනීමේදී ඇය බොහෝ බුද්ධිමත්වී ඇති බව ඇය ගැයූ සෑම ගීතයකින්ම පෙනේ.

1974 අහමබාද් සංගීත ප්‍රසංගයට ආ ඇය එහිදී ගයන අතරතුර තමාට එදින නිවැරදි ලෙස ශ්‍රැතියට ගැයිය නොහැකි බව පැවසුවාය. ඒ සමගින් ඇගේ රෝගී බව වටහාගත් සංවිධායකයන් ඇයව රෝහල්ගත කරන ලද අතර එහිදී ඇය අවසන් සුසුම් හෙළුවාය.

භාරතය ඇයව පද්මභූෂණ සම්මානයෙන් පවා පුදන ලදි.

බේගම් අඛ්තර් පිළිබඳ තම මතකය අළුත් කරනා ඇගේ දයාබර සිසුවියක් මෙසේ පවසා තිබුණි. අම්මා (ඇයට ඔවුන් එසේ අමතා තිබුණි) අපට සංගීතය ඉගැන්වුවා. එහෙත් ජීවිතය ගැන ඊටත් වඩා ඉගැන්වුවා. මට අවසානයේ දයාබර ගුරුතුමිය මෙසේ කීවා.

-හුදකලාවම මිතුරෙක් කරගන්න, එය කිසි දිනෙක ඔබට ද්‍රෝහීකමක් නොකරනු ඇත-

ඇය මිය යාමට දින 8කට පෙර පටිගත කල අවසාන ගසල් ගායනයේ මුල් පැදියේ අරුත මෙසේය.

අසන්න මගෙ පන ඔවුන්ගෙන් ඔවුනගේ කතාව
කිසිවෙකු කිසිවෙකුත් නොහඳුනන ඉසව්වකි මේ

ඇය ගයන ලද දායම් පඩාහුවා නම් ගසල් ගායනයේ අරුත මේ සමග දක්වමි.


සැමවිටම ඔබේ නිවසේ ඉදිරියේ සිටගෙන සිටින සිඟන්නියක් නොවෙමි මම
ජීවිතය පුරාවට පයට පෑගෙන බොරළු කැටයක්ද නොවෙමි මම

ඇයි ජීවිතයේ අවාසනාවන්තකමට හදවතෙහි බියක් ඇත්තේම නැද්ද?
මනුශ්‍යයෙක් මිස මදිරා පිරි කුසලානයක් නොවෙමි මම

දෙවියනි සමාජය මාගේ දිවිය මෙලොවින් මකා දමන්නට වෙර දරන්නේ ඇයි
ඉතිහාසය නම් පොතෙහි යලිත් ලියැවෙන චරිතයක් නොවෙමි මම

වේදනාවෙන් විඳින දඬුවමකටද සීමාවක් තිබිය යුතු නොවෙද?
අවසානයේ ආදරවන්තියක් නොවී නරක යැයි ගැරහුම් ලබන ගැහැණියක් පමණි මම

Thursday, July 30, 2009

chandi jaisa rang hei tera

තරුණියක් වර්ණනා කරන ලද ගසල් ගායනයක් වන මේ ගීතයේ පමණටත් වඩා අතිශයෝක්තියෙන් තරුණියකගේ සුන්දරත්වය වර්ණනා කර ඇත. එහෙත් ඉන් ගීතය සුන්දරවී ඇතුවා මිස හානියක් නොවී ඇති බව ශ්‍රවණය කරන හැම අවස්ථාවකම වැටහේ. මෙය පංකජ් උධාස් නම් ගසල් ගායකයා විසින් ගයන ලද්දේ වෙයි.

සුන්දරියේ
ඔබ රිදියෙන් නිමවූවා වැනිය
ඔබේ කෙස්කළඹ රන්කෙඳි සේය
ඔබ හැර මගේ දිවියේ අන් සියල්ල
දිළිඳුබවේ සංකේතය
ඔබ මට ඇති එකම ධනවත්කමය

ඔබ ඇවිද යන මාවත දෙපස ඔබ නිසා මලින් බර වෙයි
ඔබේ කෝමළ පියවර හඬින් නිද්‍රෝපගතව හුන් මල් උයන් අවදිවෙයි
ඔබේ පයෙහි වැදෙන ගල් කැට දියමන්ති බවට පත් වෙයි
යමෙකු ඔබ යන මගෙහි මුණ ගැසෙයි නම් හේ ප්‍රීතියෙන් පිනා යයි
ඔබ මට ඇති එකම ධනවත්කමය
මගේ දිවියේ අන් සියල්ල දිළිඳුබවේ සංකේතය

පැහැයක් නැති යමක් වර්ණවත් කරත්නම් කිසිවෙකු විසින් හෝ
ඒ නෙත් ඇදගන්නා සියළු වර්ණ ඔහු විසින්
ඔඛෙන් සොරකම් ගරගන්නා ලද්දේ වෙයි
ඔබ පසුකර යන සියල්ලලෝ ඔබ වෙත මහත් ඕනෑ කමින් බලති
සුන්දර ලද බොළඳ සුකුමාරියේ මඳකට
ඔය මුහුණ වසා සිටින සළුපට ඉවත් කරන්න

අහසෙහි ගැටෙන වලාවෙහි, දිදුලන තාරකාවන්හි සැඟව ඇත්තේ ඔබේ රුවය
ගසල් ගායනාවන්හිද සුන්දර ගීතයන්හිද සැඟව ඇත්තේ ඔබේ රුවය
මෙලෙසින් ඔබේ සුන්දරත්වයේ රශ්මිය
හැමදාකම මේ ලොවෙහි දිදුලමින් පවතිනු ඇත
දෙවියන්ගේ නාමෙට ඔබට ඇස්වහක් නොවැදී
බොහෝ කලක් ඔබ ජීවත් වේවා


Wednesday, July 29, 2009

humne yeh sanam ko khat

හම් නේ යේ සනම් කෝ ඛත් ලිඛා

අපූරු හින්දි ගීතයකි. ලතා මංගේෂ්කාර්ගේ ගායනයද මෙහිදී ඉතාම සුගමය. ඇය තම චිත්‍රපට පසුබිම් ගායනයේ ඉහළම තළයේ ඉන්නා කාළයේදී ගැයූ ගීතයක් බව කිවහොත් නිවැරදිය. ආර්ඩී බර්මන් සංගීතය සපයා ඇති අතර දර්ශණයේ සිටින්නේ ස්මිතා පටේල්ය.

ගීතය අරඹන්නේ ගායිකාව මෙසේ පවසමිනි

මා දන්නේ මගේ පෙම්වතා ඉතා කඩවසම් බව පමණකි.
එහෙත් ඔහුට ලිපියක් යවන්නට නම් ලිපිනයක් තිබිය යුතුය

ඇය ව්‍යංගාර්ථයෙන් පවසන්නේ තවමත් පෙම්වතෙකු නැති බවය. එහෙත් ඇයද අන් සෑම තරුණියක් මෙන්ම කඩවසම් තරුණයෙකු බලාපොරොත්තු වන්නීය. එහෙයින් ඇය පවසන්නේ තමා දන්නා එකම කරුණ ඔහු කඩවසම් බව පමණක්ය යන්නය.

හදවතෙහි ඇති සියළු දේ ඇය ලිපියෙන් පෙම්වතාට ලියා යවා ඇත

ඉනික්බිති ලිපිය ලියුම්පෙට්ටියට දමමින් ඇය තැපැල් නිළධාරියාට මෙසේද පවසා ඇත.

මේ ලිපිය නුග ගසක කොලයක්ද නොව
නිකම්ම කඩදාසි කැබැල්ලක්ද නොව
මේ හදවතෙහි සියළු බලාපොරොත්තුවය
මෙහි මගේ පණ කෙන්දද ගැබ්ව ඇත
එබැවින්ම මෙය සුළුවෙන් නොතකන්න
මාවතෙහි අතපසුකොට දමා නොයන්න

ඇය ඉන්පසු පිළිතුරක් බලාපොරොත්තුවෙන් තනිව වසර ගණනක් නෙතු දල්වා බලා හිඳින්නීය.

වසර ගණනක් ඉනික්බිති ඇය
ඇගේ පෙම්වතා එනතුරු නෙතු දල්වාගෙන සිටින්නීය
එහෙත් ඔහු නාවේය
එක් දිනෙක ලියුම් ඛෙදන්නා නැවත පැමිණ මෙසේ පැවසීය
මේ නමින් වීදියක් නගරයක් පලාතක් හෝ පෙම්වතෙක්
මේ මුළු ලොවෙහිම නැත

tu ne khat mein likha

ඉතාම සුන්දර ගසල් ගායනයක් වූ මෙම ගීතය ගායනා කරන්නේ ජස්වන්ත් සිංග්ය. රිෂ්තා නම් ගීත ඇල්බමයෙන් උපුටාගන්නා ලදි.

ඔබ ලිපියෙහි දන්වා ඇත
ඔබව අමතක කර දමන ලෙස
එහෙත් ඔබ ලියා නැත
එය කළයුත්තේ කෙලෙසකදැයි

මහ වැස්සේ අපගේ පළමු හමුවීම
මම කෙලෙස අමතක කරන්නද?
තෙමී සිටි ඔබගේ ලජ්ජාවෙන් රතුවූ මුහුණ
එදා ඔබ දෙවඟනක්ද නොව
දෙවඟනකට වඩා සුන්දරයැයි මම සිතුවෙමි

ඔබ මගේ සුසුමය
ඔබ මගේ හද ගැස්මය
මා මෙය ඔබට කිව යුත්තේ කෙලෙසකින්දැයි
මට කියා දෙන්න

මගෙ හදවතට දැනෙන්නේ
ඔබ මගේ ජීවිතය වී ඇති බවය
ඔබ දෙව්ලොවට සරිලන
සුන්දරම නිමැවුමකි
ඔබේ ආලෝකයෙන් සූර්යයා ප්‍රභාමත්වේ
එහෙයින් ඔබ සිනහවන විට සඳද සැඟව යන්නීය

මගෙ හදෙහි මා මැවූ එකම ප්‍රතිමාව ඔබය
එය ඔබට කොහොම විශ්වාස කරවන්නද මම

දනිමි මම ඔබ ඉතාම අසරණව මේ ලිපිය ලියා ඇති බව
ඔබේ වේදනාකාරී තත්ත්වය ගැන මට වැටහේ
නිවසේ නම්බුව නිසා ඔබ නිහ`ඩව ඇත
අන් ලෙසකින් ඔබ කෙදිනකවත් මට වූ පොරොන්දුවක්
බිඳ දමන්නේ නැත
අද මම ඔබේ ජීවිතයෙන් බොහෝ ඈතට යමි
නැවත ඔබ පිළිබඳ මතකයට නොගන්නට
මම හැකි වෙර දරමි


Monday, July 27, 2009

Tere dar par sanam

පකිස්ථානු ජාතික ඛාතිල් ශිපාහී නම් කවියා විසින් රචිත තේරේ දර් පර් සනම් පද රචනය ඉතා සරළ සුගම පැදි පෙළකි.

මෙය පළමුව පකිස්ථානයේදී ගායනා වුවත් දෙවනුව ඉන්දියාවේ නිශ්පාදිත හින්දි චිත්‍රපටයක් වූ නීන්ද් (1959) සඳහා ලබාදී එය උර්දු ගායිකා නූර්ජහාන් විසින් රාශිද් අත්තර්ගේ සංගීතයට ගයන ලදි.

තෙවනුව එය නැවතත් කුමාර් සානු සහ සාධනා සර්ගම් විසින් ඵිර් තෙරී කහානි යාද් ආයී චිත්‍රපටය සඳහා අනූ මලික්ගේ සංගීතයට ගයන ලදි. දෙවන ගීතයට වඩා තෙවන ගීතයේ සංගීතයද වෙනස් වූ අතර දර්ශනවල අමු අමුවේ ශෘංගාරය ඔබන්නට වෙර දරා ඇති බවද පැහැදිලිය. ඔබේ රස වින්දනය උදෙසා ගීත තුනෙහිම වීඩියෝ මේ සමග දක්වා ඇත.

පෙම්වත, ඔබේ නිවෙස වෙත ආවෙමි
ඔබ මවෙත නොපැමිණි නිසා
මම ඔබේ නිවෙස වෙත ආවෙමි

ඔබ නැතිව කිසිදු ආසාවක් නැත
කිසිදු දෙයකට
මෙතරම් පුල පුලා සිටියද
පිපාසාවක් හෝ නොදැනිනි

හදවත ගැහෙන්නට විය
ගතවූ සෑම මොහොතකම
පා බැඳි නූපුරයන්හි හඬ අසන්න
නැවත ඔබේ පියවර පසුපස මම ආවෙමි

මින් පෙර සෑම රැයක්ම මට ගතකල හැකිවිය
එහෙත් අවසානයේ එසේ නොවීය
සිතෙහි බියමුසු සැකය සමගින්
මම ඔබේ නිවෙස වෙත ආවෙමි







Chaudvin Ka Chand

ඔබ පුරහඳය, නැතහොත් සූර්යාංගනාවය
කවරක් වුවත් දෙවියන්ගේ නාමෙට
ඔබ නම් රුවින් අසමසමය

වරළස ඔබේ උරහිස් මත වලා මෙන් කඩා හැලෙයි
දෑස මධුපැන් කුසලානයක් බඳුය
ඔබ ආදරයෙන් කුල්මත්වූ යුවතියකි

ඔබේ මුහුණ විලෙහි රඟන නෙළුමක් වැනිය
නැතහොත් ජීවන වීණාවෙහි වැයෙන
සුන්දර ගසල් ගායනයක් වැනිය

වසන්තයේ සුන්දරාවිය ඔබ
කවියෙකුගේ සිහිනයකි

ඔබේ හසරැල් විදුලිය මෙන් දෙතොලෙහි ඇඳී යයි
දේදුණු ඔබ යන මගෙහි ඉදිරියෙන් මැවෙයි
ආදරයෙත් සුන්දරත්වයෙත් තෝතැන්න වූ ලොවක
ආලෝකය ඔබමය


Yuun Hasaraton Ke Daag

මෙලෙසින් ආශාවන් නමැති දහසක් පැල්ලම්
ආදරය නම් ගගුලෙහි දොවා මකා දැමීමි
හදවතෙහි ඇති දේ හදවත සමග පමණක් පවසා
තනිව හැඬුවෙමි

සතුට සොයා නිවසින් පිටතට අවුත් සැරුවෙමි
යන මගෙහි වේදනාව පමණක් රැඳී තිබුණි
ඉදින් මම එය රැගෙන ගියෙමි

බිඳී ගියද මහද එය හදවතක්ම නොවෙද
මලක් වැනි හදවතක් නොවෙද
දැන් එය බාර ඔබටය
එය කටු වලින් පහුරු ගෑමද බාර ඔබටමය

ලොවට මුනිවත රකින විට මා
ලොවම මගෙන් විමසුවේ නිහඬව නොසිට
යමක් පවසන්නට කියාය
මම හදවතෙහි ඇති දේ හදවත සමග පමණක් පවසා
තනිව හැඬුවෙමි


phoolon ka taron ka

සොයුරු පෙම ගැන ලියැවුණු අපූරු ගීතයකි මේ. එහි කිශෝර් කුමාර් ගේ ගායනයද ඉතාමත් සිත් ඇදගන්නා සුළුය.

මල්ද තරුද කියන්නේ
නුඹ දහසකින් සොයාගත නොහැකි සොයුරියක් බවය
මගේ දිවිය පුරාවට අපි සොයුරු පෙමින් බැඳී සිටිමු

ලොවට වටහාගත නොහැකිය
නුඹ සොවින් ඉන්නේ ඇයිද කියා
නමුදු මට වැටහේ නුඹේ දෑසෙහි ඇත්තේ
ආදරය පිළිබඳ සිතුවිලිය
අවුත් මට පවසන්න නුඹ සඟවාගෙන සිටිනා කරුණ

විස්කම් කරුවෙකුගේ නිර්මාණයක්දැයි
නැතහොත් නුඹ ජපන් බෝනික්කියක්දැයි සිතාගත නොහැක
මව පියා සැමෝම කියන්නේ
නුඹ දහසකින් සොයාගත නොහැකි සොයුරියක් බවය

නුඹ මගේ දෑසට පෙනෙන මානයෙන් ඉවතට ගියදා සිට
මගේ සිහින පාළුවට ගියේය
දෑසට නින්දත් සිතට අස්වැසිල්ලත් නැත

නුඹත් මාත් එක අත්තක පිමුණු මල් දෙකකි
මට කිසිවක් අමතකව ගොස් නැත
පුදුමයි නුඹට කෙලෙසින්ද මේ හැම දෙයක්ම අමතකව ගියේ
අවුත් මට පවසන්න නුඹ සඟවාගෙන සිටිනා කරුණ

ජීවිතයේ දුක් කම්කටොළු වලින් බියවී පලක් නැත
සත්‍යයට බියව පලා යාමටද නොහැකිය
අප සතුටට මොන තරම් ආස කලද දුකද විඳ ගතයුතුමය
නුඹ දහසකින් සොයාගත නොහැකි සොයුරියකි

Get this widget | Track details | eSnips Social DNA

Sunday, July 26, 2009

Barsaat ke mousam mein

මෝසම් වැස්සේ
තනිකමත් සමගින්
මම නිවසින් නික්ම ආවෙමි
මත්පැන් බෝතලයක්ද රැගෙන
දැන් මම ජීවත්වෙමි
එලෙසින්ම මට ජීවත්වන්නට ඉඩ දෙන්න

සුන්වූ ජීවිතයක් ගත කරන්නට මට ඕනෑ නැත
සවස් යාමයට පමණක් මත්පැන් පානය සීමා කරන්නට ඕනෑ නැත
මිතුර අද මත්පැන් වීදුරු කුඩුකර දමමු
මුළු අවන්හලම පානය කරමු
වෙනදට අවන්හලේදි පමණක් මත්පැන් බොන අපි
අද මාවත දිගෙත් බිබී යමු

සමාජය ඇති කරන පීඩාවන් තමා මගේ සතුරන්
මත්පැන් බිව් පසු සතුරන් අඩු වේ
සමාජ පීඩාව දරාගන්නට මට නොහැකිය
නොබී මා අද ජීවත්වන්නේ කෙලෙසකද
මට ඉරණම සමගින් ගැටෙන්නට සිදුව ඇත
අද මට බීමත්කම ඉරණම කරගන්නට ඉඩ දෙන්න

අද සැඳෑව බොහෝ වෙහෙසකරය
අද රාත්‍රිය බොහෝ සුන්දරය
අද සැඳෑව කෙලෙස ගත කරන්නද
අද රාත්‍රිය කෙලෙස ගෙවා දමන්නද
ගින්දරකින් හදවතෙහි ගින්දර නිවා දමන්නෙමි
අද මට ඒ ගින්දරත් බොන්නට දෙන්න