Showing posts with label begum akhtar. Show all posts
Showing posts with label begum akhtar. Show all posts

Thursday, September 10, 2009

Mere Ham-nafas Mere Ham-navaa

මගෙ සුසුම වැනි වූ මගෙ හඬද වැනිවූ මගේ ප්‍රිය මිතුර
නුඹ මා සමග මිතුරුව මා රවටන්න එපා
වේදනාකාරී ආදරයෙන් මම මියගොස් සිටිමි
එවන් මට ජීවත්වීමට ආශිර්වාද නොකරන්න

මගෙ කිළිටිවූ හදවතින් මා එළිය ලබමි.
ඒ එළියෙන් දිවිගෙවමි
අහෝ වෙදැදුරනි මම බියට පත්ව හිඳිමි
ඔබ හෝ මගේ ඒ හදෙහි ආලෝකය නිවා නොදමන්න

මගේ රෝගී තත්ත්වය ගැන දැන් අතහැර දමන්න
ඔබට කවර විශ්වාසයක් ඇද්ද වෙදැදුරනි
මේ ඔබේ සුළු කරුණාවෙන්
මගේ වේදනාව වැඩි නොකරන්න

මගේ තීරණය වෙනස් නොකරමි
අන් අය මා කෙරෙහි වේදනාවටද බිය නොවෙමි
ගින්නෙන් දැවෙන මහද පුෂ්පයට බියවෙමි
ඉන් කොතැනකවත් මල් උයනක් දවන්නට ඉඩ නොදෙන්න

ඔහු දේව ප්‍රසාද බධුන ගෙන නැගිටියි
අහෝ ශකීල් ඔබ කොහිද
මා හැර ඔබ අන් කිසිවෙකුට
දෑත දිගු කරන්නේද?

Tuesday, August 11, 2009

Kuch To Duniya Ki Inaayaat Ne

ලොවෙහි අපූරු කරුණාව නිසා හදවතින් කොටසක් බිඳී ගියේය
අනෙක් කොටස ශාරීරික අබල දුබල බවින් බිඳී ගියේය

මම දැන සිටියෙමි වසින වැස්සෙන්ද මධුවිත වෑහෙන බව
ඉදින් වැස්සේ නම් ඉන් මගේ හදවත බිඳී ගියේය

හදවත හඬා වැටුණි. දෑසින් කඳුළු ගැලීය
ආදරයේ මේ සම්ප්‍රදායද මගේ හදවත බිඳ දැම්මේය

ඔහු මගේය, මට මුණ ගැසේවි, පැමිණේවි
මෙවැනි දුබල සිතුවිලි නිසාද හදවත බිඳී ගියේය

ඔබ මට ආදරය කරන්නේද නොකරන්නේද නොදනිමි
එහෙත් එවැනි ගැටළු නිසාද මගේ හදවත බිඳුණි


ගායනය- බේගම් අඛ්තර්
පද රචනය- සුදර්ශන් ෆාකීර්

Saturday, August 01, 2009

Woh jo hum mein tum mein qaraar tha

මෙය බොහෝ ගායක ගායිකාවන් පිරිසක් ගැයූ ගසල් ගායනයකි. එය එතරම්ම ප්‍රචලිත සහ සුමධුර පැරණි පැදි පෙළකි. මෙහි පෙම්වතා යන්න ගායිකාවක් සඳහාද එය ගායකයෙකු ගයන විට පෙම්වතිය ලෙසින්ද වෙනස් කොට ගත යුතුය.

ඔබත් මාත් අතර
අන් කිසිවෙකු නොදත්
අප දෙදෙනා එක්ව බැඳ තැබූ දෙයක් විය
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි
ඉටු කරනට බොහෝ පොරොන්දුද විය
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි

සිත් රිදෙන කතාද ඇරඹුණි, තුටින් වූ සාමිචිද විය
ඒ හැම දෙයක්ම කලෙකදි නොරිස්සුම් සහිතවූ බව
අද ඔබට මතකදැයි
නැතහොත් අමතකදැයි
මම නොදනිමි

විටෙක ඔබටද මටද ඇවැසි දේ විය
විටෙක ඔබටද මටද විසඳුමක් විය
විටෙක ඔබද මාද ආදරවන්තයින් බවට පත්වීමු
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි

යමෙකු ඔබගේ පෙම්වතායයැයි සැලකුවේද
යමෙකු කෙරෙහි ඔබ විශ්වාසය තැබුවේද
ඒ මාය අදටත්
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි





daayam pada huwa

වසර 1914 ඔක්තෝම්බර් 07 වැනි දින උපත ලැබූ අඛ්තරීබායී ෆයිජාබාදී බිළිඳිය වයස 07 දී සංගීතයේ අතපොත තැබුවාය. මේ වන විටත් ඇගේ පියාගේ දෙවන විවාහය වූ තම මවවද තමා සහ නිවුන් සොයුරියවද හැර දමා පියා වෙනත් විවාහයක් වෙත ගොස් තිබුණි.

සංගීතය හදාරන පෙළපතකින් නොපැමිණියද ඇගේ මාමාගේ බල කිරීමට අගේ මව විසින් ඇයව සංගීතය පුහුණු කිරීමට ශාස්ත්‍රීය සංගීතවේදීන් වෙත රැගෙන යන ලදි.

වයස අවුරුදු 15දී ඇය භූමිකම්පාවෙන් අසරණවූ සරණාගතයන් වෙනුවෙන් පැය 06ක් එක දිගට ගී ගැයුවාය. එහිදී ඇගේ ගායනයෙන් වශීවූ සරෝජිනී නායිඳු මහත් ඉහලින් ඇයව වර්ණනා කළාය. කුණාටුවක් ලෙසින් උත්තර භාරතීය සංගීතයට කඩා වැදුණූ ඇය හැම මොහොතකම සංගීතය ප්‍රගුණ කිරීමටත් සංගීතයතුලම ජීවත්වීමටත් ප්‍රිය කළාය.

නවසිය තිහ දශකයේ හඬ සහිත සිනමාව බිහිවීමත් සමගින් සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට නිළියම තමන්ගේ ගීත ගැයීමේ සම්ප්‍රදායට අනුව බේගම් අඛ්තර්ට රඟපාන්නට අවකාශ ලැබුණි. (ලංකාවේද මෙපරිද්දෙන් රුක්මණී දේවිය බිහිවුණි.) නැගෙනහිර ඉන්දියානු චිත්‍රපට සමාගමින් ඇයව ඒක් දින් කා බාද්ශාහ් චිත්‍රපටයත් නලදමයන්ති චිත්‍රපටයත් සඳහා තෝරාගන්නා ලදි. අනිල් බිස්වාස් සංගීතය සපයන ලද රෝටී චිත්‍රපටයේ ඇය ගැයූ ගසල් ගායනා 6න් 4ක් ඉවත් කිරීමට නිශ්පාදක කටයුතු කිරීම නිසා ඇය මහත් කම්පාවට පත්වූවාය.
ගසල්, ඨුම්රි, තරාණා ආදි ගායන ශෛලීන් භාරතය තුල ප්‍රචලිත කිරීමේ මෙහෙයුමෙහි නිරතව හුන් ඇය ඒ සඳහා විශාල සේවයක් කළාය.

හිරිමල් වියේදීම තමන්ට අනුග්‍රහය දැක්වූ නිශ්පාදකයෙකු අතින් අනාථවූ මේ ගායිකාව ඉන් ලද දරුවා, පෙළපතෙහි නම්බුවත්, සංගීතයට කරන මෙහෙවරත් වෙනුවෙන් අන්වර්ථ ලෙසින් රැක බලා ගත්තාය. 1945දී එනම් ඇයට වයස 31දී ඇයව වංශවත් පෙළපතකට විවාහකර දෙන ලදි.

ඒ සමගින් ඇගේ ස්වාමියා විසින් ඇගේ සංගීතයට ඇති සියළු අයිතීන් කපා හරින ලද්දේ විය. එහි ප්‍රතිඵලය අඛ්තර් රෝගී වීමය. දිනෙන් දින තම අසරණභාවය හේතුවෙන් රෝගී වූ ඇය වසර 05ක් අවසානයේ මහත් සේ ඛෙලහීන විය. වෛද්‍යවරු නිර්දේශ කරන ලද්දේ නැවත ඇයට සංගීතය සඳහා අවකාශ ලබාදෙන ලෙසය. ඒ හේතුවෙන්ම ඇයට නැවත ගී කියන්නට අවස්ථාව උදාවිය. ඛෙගම් අඛ්තර් සංගීතය වෙත දෙවන වර ආගමනයෙන් පසු මුල්ම ගීත කිහිපය ගැයීම පිණිස ලක්නව් ගුවන්විදුලි මධ්‍යස්ථානයට පිවිසියාය. ගසල් තුනක් සහ එක් ඨුම්රි ගායනයක් ගැයූ ඇය නැවත ලද ජීවිතය වෙනුවෙන් එහිදී හඬා වැටුණාය.

ඉනික්බිති සංගීතතුල නැවත ඕ ශක්තිමත් වූවාය. හුදකලාවූවන්ගේ ආත්මයවූද, වේදනාවේ කැඩපතවූද, සුන්දර සංගීතයේ රසසාගරයක්වූද ඇයගේ ගසල් සහ ඨුම්රි ගායනය අපූරුය. ඇගේ හඬ උච්චස්ථාන කරා යාමේදී මනාව ශ්‍රවණය කළහොත් කොහේදෝ සිට අවුත් ඒ හඬට එකතුවන වේදනාවක් අපූරුවට හඳුනාගත හැකිය. බේගම් අඛ්තර් කිසි දිනෙක සුනරුත් පදවැල් ගායනය නොකළාය. ගීත තෝරාගැනීමේදී ඇය බොහෝ බුද්ධිමත්වී ඇති බව ඇය ගැයූ සෑම ගීතයකින්ම පෙනේ.

1974 අහමබාද් සංගීත ප්‍රසංගයට ආ ඇය එහිදී ගයන අතරතුර තමාට එදින නිවැරදි ලෙස ශ්‍රැතියට ගැයිය නොහැකි බව පැවසුවාය. ඒ සමගින් ඇගේ රෝගී බව වටහාගත් සංවිධායකයන් ඇයව රෝහල්ගත කරන ලද අතර එහිදී ඇය අවසන් සුසුම් හෙළුවාය.

භාරතය ඇයව පද්මභූෂණ සම්මානයෙන් පවා පුදන ලදි.

බේගම් අඛ්තර් පිළිබඳ තම මතකය අළුත් කරනා ඇගේ දයාබර සිසුවියක් මෙසේ පවසා තිබුණි. අම්මා (ඇයට ඔවුන් එසේ අමතා තිබුණි) අපට සංගීතය ඉගැන්වුවා. එහෙත් ජීවිතය ගැන ඊටත් වඩා ඉගැන්වුවා. මට අවසානයේ දයාබර ගුරුතුමිය මෙසේ කීවා.

-හුදකලාවම මිතුරෙක් කරගන්න, එය කිසි දිනෙක ඔබට ද්‍රෝහීකමක් නොකරනු ඇත-

ඇය මිය යාමට දින 8කට පෙර පටිගත කල අවසාන ගසල් ගායනයේ මුල් පැදියේ අරුත මෙසේය.

අසන්න මගෙ පන ඔවුන්ගෙන් ඔවුනගේ කතාව
කිසිවෙකු කිසිවෙකුත් නොහඳුනන ඉසව්වකි මේ

ඇය ගයන ලද දායම් පඩාහුවා නම් ගසල් ගායනයේ අරුත මේ සමග දක්වමි.


සැමවිටම ඔබේ නිවසේ ඉදිරියේ සිටගෙන සිටින සිඟන්නියක් නොවෙමි මම
ජීවිතය පුරාවට පයට පෑගෙන බොරළු කැටයක්ද නොවෙමි මම

ඇයි ජීවිතයේ අවාසනාවන්තකමට හදවතෙහි බියක් ඇත්තේම නැද්ද?
මනුශ්‍යයෙක් මිස මදිරා පිරි කුසලානයක් නොවෙමි මම

දෙවියනි සමාජය මාගේ දිවිය මෙලොවින් මකා දමන්නට වෙර දරන්නේ ඇයි
ඉතිහාසය නම් පොතෙහි යලිත් ලියැවෙන චරිතයක් නොවෙමි මම

වේදනාවෙන් විඳින දඬුවමකටද සීමාවක් තිබිය යුතු නොවෙද?
අවසානයේ ආදරවන්තියක් නොවී නරක යැයි ගැරහුම් ලබන ගැහැණියක් පමණි මම

Monday, June 29, 2009

aye mohobbat tere anjaam

ආදරය,
නුඹේ වෙන්වීමෙන් මම හැඬුවෙමි
එහෙත් නොදනිමි අද නම්
නුඹේ නම ඇසුණු පමණින් හැඬුවෙමි.

සෑම සැඳෑවක්ම ගෙවී ගියේ බලාපොරොත්තු
නෙතු දරාගෙනය
අද නම් කුමන හෝ හේතුවකින්
සැඳෑ කළ එළඹෙත්ම මට හැඬුම් එයි

විටෙක ඉරණමෙහි සන්තාපයන්
විටෙක ලොවින් ගැරහුම්
ආදරය වෙන්කරන මංසන්ධියට තැබූ සෑම පියවරක්ම
මාව හැඬවීය

මේ කුරිරු ලොවම ඔවුන්ගේ ආදරය ගැන කතා කරන විට අහෝ
බිඳීගිය මගේ ආදරය මා හඬවයි