Showing posts with label urdu. Show all posts
Showing posts with label urdu. Show all posts

Monday, October 19, 2009

Khanjar hain Teri aankhen Talwar teri aankhen

කැපෙන පිහිතලයක් වැනි කගපතක් වැනි නුඹේ දෑස
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

මත් කරවන බැල්මෙන් පිරි දෑස හිමි නුඹව
දෙවියෝම සුරකිත්වා
මගේ මතකයේ සැමවිටම රැඳී ඇත්තේ නුඹේ දෑසමය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

නුඹේ කතාකරන දෑස මහා දිගු කතාවක් පවසයි
නුඹේ දෑසටම වෙන්වුණු භාෂාවක් ඇත්තා සේය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

මම නුඹේ දෑසින් දෙවියන්වද දකිමි
මෙහා ඉවුරෙත් නුඹේ දෑසය එහා ඉවුරෙත් නුඹේ දෑසය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

නුඹ දහස් ප‍්‍රයෝග දමමින් සඟවන්නට උත්සාහ දැරුවත්
ආදරය සැඟවිය නොහැකිය
නුඹේ දෑස ආදරය පිළිබඳ බලාපොරොත්තු නෙතු දල්වා සිටී
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස


Thursday, October 15, 2009

Chadta Sooraj

චඞ්තා සූරජ් -නැගෙන හිරු- නම් මෙම කවාලි ගායනය තාරුණ්‍යයේ වල්මත්ව හිදීන සියළු දෙනාට ආදර්ශයක් ලෙසින් ගයනු ලබන පාරම්පරික ගායනයකි. අදටත් තරුණ සහ මැදිවියේ පකිස්ථානුවන් සහ ඉන්දියානු මුසල්මානුන් බොහොමයක් මෙහි වදන් කට පාඩමින් මුමුණනු දැකිය හැකිය. සැබවින්ම අරුත්බර මෙන්ම හැඟුම්බර මෙම ගීතයෙහි අන්තර්ගතය ඉස්ලාම් දහමට පමණක් නොව බුදුදහමටද බොහෝ සමීප වන්නට උත්සාහ දරා ඇතිබව පෙනේ.

නැගෙන හිරු

තාරුණ්‍යයේ මදයෙන් උඩඟුවූ තරුණයිනි,
ඔබ හෙට දින අනිවාර්යයෙන් පසු තැවෙනු ඇත
නැගෙන හිරු සෙමින් සෙමින් බැස නොපෙනී යනු ඇත

ඔබ මෙලොව මගියෙක් පමණි
ලෝකය යනු මායාවකි
මෙලොව ඔබ ගත කරන්නේ ටික කලකි
මුදල්, නම්බුව, ගේදොර, රත්තරන් බඩු
කිසිවක් ඔබ රැගෙන යන්නේ නැත
හිස් අතින් ඔබ පැමිණියේ ඔබ යන්නේද හිස් අතිනි
මේ බව ඔබ දනිතත් නොදන්නා ලෙසින් හැසිරෙයි
ජීවන රඟමඬලෙහි ඔබ තබන සෑම පියවරකින්ම වල්මත් වෙයි
ඔබ දෙවියන් අමතක කොට ඇත
භෞතික දේ පසුපස හඹා ගොස් හති වැටුණු බොහෝ අය මෙය වටහාගෙන ඇත
ඔවුහු තමන් ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජන නොගෙනම
ගිලා බසින හිරු දැක හඬා වැටෙති
ඔබ කවරක් දැනගෙනද මේ සියල්ලෙහි ඇලී ගැලී ඉන්නේ
සෑම අයෙකුම තමන්ගේ ජීවන ගැටළු සමගින් කාර්ය බහුල වී ඇත
ඔවුහු කිසිවෙකු ජීවිතයේ සැබෑ අර්ථය නොදනිති

අදම වටහාගන්නට උත්සාහ කරන්න
මේ අවස්ථාව හෙට දිනයේදී උදා නොවනු ඇත
ගැඹුරු නින්දේ පසුවන්නන් හෙට මංමුලාවනු ඇත
නැගෙන හිරු සෙමින් සෙමින් බැස නොපෙනී යනු ඇත

මරණය කාටත් පාඩම් උගන්වයි
ප‍්‍රතාපවත් විරුවන්ට පවා එසේම වී ඇත
මහත් අධිෂ්ඨානයෙන් හුන් වීර ඇලෙක්සැන්ඩර් රජු පවා අවසානයේ සියල්ල හැර දමා මිය ගියේය
ලොවින් නික්මුණු සියල්ලන් ගියේ හිස් අතිනි
මහත් ඉසුරු නිසා අහංකාරව උඩඟුව දිවි ගෙවූ
කිසිවෙකු මිය ගියේ ඒ කිසිවක් රැගෙන නොවේ
ඔවුන් වෙනුවෙන් අවසානයේ සොහොනෙහි පහනක් දල්වන්නටද කෙනෙකු නැති විය
ඔබ ධනවත් වුවත් දිළිඳුවුවත් නැවත යන්නට සිදුවේ
ඔබ කාගෙත් අවසන් නැවතුම සොහොනයි
ඔබ කල දේවල්වල ඵලය මිස කුමක් ලබාගන්නද
උඩඟුව හිස උදුම්මාගෙන ඇවිදින අය දිනෙක ඇදගෙන වැටෙනු ඇත
නැගෙන හිරු සෙමින් සෙමින් බැස නොපෙනී යනු ඇත

මරණය කාටත් පොදුය
ඉන් ගැලවෙන්නට ඔබට නොහැකිය
අවසන් සුසුම හෙළන විට
සියළු බැඳීම්ද බිඳී යයි
දෙමව්පියන් සොයුරු සොයුරියන් බිරිඳ දරුවන් සියල්ල අහිමි වෙයි
ඔබ වටා පන තිබෙනතුරු හුන් අය මිය ගිය විගස ඔබේ බූදලය බෙදාගන්නට සටන් කරනු ඇත
ඒ ඔබ ඔබේමයැයි සිතූ අයය
ඒ අය ඔබ වෙනුවෙන් කුමක් කරන්නද?
සොහොන්බිම ඔබේ ජීවිතයේ අවසන් මංසන්ධියයි
ඔබට ආදරය කල, ඔබේ මංගල්ලෙදී ඔබට මල් කළඹක් දුන් අය මෙන්ම
ඔබව මරන්නට කැස කැවූ අයද එකට එක්ව
ඔබේ මිනියට පස් පිඩක් වීසි කරනු ඇත
ඔබේ බලාපොරොත්තු එතැනින් නිමා වනු ඇත
ඔබගේ සහෘදයන් ඉනික්බිති ඔබව අමතක කර දමනු ඇත
එබැවින් මම ඔබට පවසමි
කාලය නාස්ති නොකර
ලද අවස්ථාවෙන් ජීවිතයේ නියම ඵල නෙලා ගන්න
කාලය ගැන කෙසේ විශ්වාසය තබන්නද
කොයි වෙලාවෙ අපට යන්නට වේදැයි අප දන්නේ කෙසේද
භෞතික දෙයෙහි ඇලී ගැලී සිටින්නනි
ඔබ ඉන් ලබන ඵලය කුමක්ද? ඔබ එයින් අනාගතයේ ලබන ඵලය කුමක්ද?
නැගෙන හිරු සෙමින් සෙමින් බැස නොපෙනී යනු ඇත

Sunday, August 02, 2009

kaali kaali zulfoN ke phande na daalo

සුන්දරිය
ඔබේ දිගු නිල් වරළස සුළෙඟ් සරන්නට ඉඩ නොදෙන්න
මට මගෙ පාඩුවෙ ජීවත් වන්නට ඉඩදෙන්න

මා සමග විනෝදවන්නට උත්සාහ නොදරන්න
මම බොහොම පීඩාවට පත්ව හිඳිමි

මම දනිමි ඔබලා මායාකාරියන්ය
මම හොඳින් ඔබලාව හඳුනමි
ඔබේ සෑම ඉරියව්වක්ම මට මැනවින් වැටහේ

ඔබ වංචාකාරීය, ප්‍රයෝගකාරීය
ඔබේ ආදරය චපලය

ඔබේ ආදරයට මම සමුදෙමි
ඔබේ සුන්දර කතාවලට මම සමුදෙමි

කරුණාකර ඔබේ දෑස මවෙතින් ඉවතට ගන්න
මට මගෙ පාඩුවෙ ජීවත් වන්නට ඉඩදෙන්න


Konpalein Phir Phoot Aayeen

ගසල් ගායනා සඳහා බොහෝ විට යොදා ගන්නා පැරණි පැදි පෙළින් ගායකයන් තෝරාගන්නේ කිහිපයක් පමණි. එක් ගීතයක් සඳහා තෝරාගත් දෙවන තෙවන පැදි අතැර එම පද්‍ය පන්තියේම වෙනත් පැදි අන්තරා ලෙසින් තෝරාගැනීම තවත් ගායකයෙකු අතින් සාමාන්‍යයෙන් සිදුවන්නකි. මින් අරුත සඳහා අල්ප වශයෙන් බලපෑමක් ඇති වන නමුදු සමස්ත ගීතයම සලකන විට ගීතයක සුන්දරත්වය සඳහා එය බලපා නැති බව පැහැදිලි වේ.

මා ඉදිරිපත් කරන මේ උර්දු පැදි පෙළ මුළුමනින්ම පරිවර්තනය කරනු ලබන අතර ඔබට විවිධ අවස්ථාවලදී අසන්නට ලැඛෙන විවිධ ගායකයන් ගැයූ ගී වලදී කොටස් අතැර ඇසෙනු සාමන්‍ය දෙයක් බව සැලකිය යුතුය.

පද්‍ය රචනය- ෆර්හාද් ශෙහෙසාද්

අළුත පිපුණු මල් පොහොට්ටුද
කිනිත්තෙන් ගිලිහී වැටෙයි
ඇයට එය වැටහෙන්නේ නැත
වටහාගන්නේද නැත
නමුත් ඇයට පවසන්න

කාළයේ කුණාටුව බොරුවක් මවා පා
අවට ඇති සියල්ල ගසාගෙන ගියේය
කිසිවෙකුද කිසිවක්ද නැතිවම දිවි මගේ
මා තනිවූ බව ඇයට පවසන්න

මා තනිව අතැර යන්නේ කා වෙනුවෙන්ද
රිදී කාසි වලින් සිතට සැනසුමක් ලඟානොවන බව
ඇයට පවසන්න

බිෙඳන් බිඳ මගෙ හදින් රුධිරය ගලා හැලෙයි
එහෙත් දෙතොලින් ලොවට මදහසම පාමින් හිඳිමි
මාව එතරම් අසරණ කලා ඈ
ඒ බවත් ඇයට පවසන්න

මෙවැනි වේදනාවක් මට හිමිකල ඇය හා
සිනහ සී මේ සියල්ල පවසන්න


Get this widget | Track details | eSnips Social DNA