Thursday, May 28, 2015

Payal mein geet hain cham cham ke

මා හදගත් ඉතාම සුන්දර ගීතයකි. ඉඛ්බාල් බනෝ සමගින් මේ පිරිස අපූරු අත්දැකීමක් ලබමින් සිටිති. බලන්න සුන්දරවූ විනාඩි කිහිපයක්.....

නුඹ දහස් වරක් ලාස්‍යයෙන් රගන්නී
එවිට නුඹේ පා බැඳි නූපුරු චම් චම් නදින් ගයන්නේ
ඒ නුඹේ ආදර ගීතයයි

නුඹ පැමිණ සිටින්නේ පෙම්වතා මුණගැසීය
ඉදින් දැන් අද සිට නුඹේ සිහින නුඹට අයිති නැත
අද සිට නුඹ දකින්නේ සිහිනයෙන් ඔහුවමය.

පෙම් කිරීම යනු මේ දිවිය පුරාවටම ඇති රෝගයකි
නුඹට ලෝකයා පිස්සියෙකැයි දැන් කියනු ඇත
නුඹට පෙම්වතා දුන් පොරොන්දු දැන් මතකයට එනු ඇත

මාද කවදාක හෝ කාට හෝ ආදරය කර ඇත
ඒ ආදරයේ නාදයද එදා කිසිවෙකුට හෝ ඇසෙන්නට ඇත
එනමුදු අද මා මේ ගයන්නේ විරහවේ ගීතයයි

Wednesday, May 27, 2015

අකල් මරණ පරාජ මන්ත‍්‍රය Mahamrutyunjay Mantra


ඔ්ම් ත‍්‍ර්‍යම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටිවර්ධනම්
උර්වාරුකමිව බන්ධනාන් මි‍්‍රත්‍යෝර්මුක්ෂීය මා මි‍්‍රතාත්


දැඩි රෝගාතුරවී සිටින්නෙකුට සහනයක් ලබාගන්නටත් අකල් මරණයෙන් මිදෙන්නටත් වසර දහස් ගණනකට පෙර රචිත මන්ත‍්‍රයකි.

අරුත
නමෝ සුගන්ධවත්වූ සුබසෙත් සදන තිනෙත් වන්දනා කරම්
ඉදිණු ඵලයක් නටුවෙන් ගිලිහී යන්නා සේ පහසුවෙන් ගත දවන දරුණු රෝගාධිය මුලිනුපුටා අකල් මරණයෙන් මුදාගනු මැනවි

මෙහි යහපත් ප‍්‍රතිපල සඳහා 108 වතාවක් කිවයුතු බැව්ද සඳහන්ය. මේ සමග ඇති ගායනයේ එය 108 වරක් ගායනා කර ඇත.

Friday, May 15, 2015

Ae Ri Pawan

ලතා මංගේෂ්කාර්ගේ මා බොහෝ ආස කරන ගීතයකි. ආර්ඞී බර්මන්ගේ අපූරු තනුවකි. කලකින් නැවත ඇසුවෙමි. අරුතද ලිවීමි.

හමා යන පවන,
මේ සොයමින් යන්නේ කාවද
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

වලාවන් සමග නුඹේ කවර හෝ
නෑකමක් තිබෙනවා නොවෙද?
මෝසම් ඍතුව එනවිටම
රගන්නේ, ගයන්නේ, බමන්නේ මෙතරම්ම ඇයි

හොරෙන් හොරෙන් රහසින්
හඬ නොනගා හද දොරින්
නුඹ නික්මෙන්නී
සිහිනයේ පා නූපුර බඳිමින්
එනමුදු පසුකර යනවිට
ඒ නූපුර හඬයි සන සන සන් නදින්
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

තනිව හමා යන්නී
නුඹය මාගේ එකම මිතුරිය
පවසන්න, කිසිවෙකු නැති ජීවන ගමනේ
තනිවූවෙකුට ජීවිතයක් කියා දෙයක් තිබේද?
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

Tuesday, May 05, 2015

Margazhi thingal allava

එස් ජානකීගේ සිත් බැඳගත් අපූරු හඬෙහි සුන්දරතම ගායනයක්. ඒ ආර් රහුමාන්ගේ අපූරු නාද සුසංයෝජනය. සංගමම් සිනමා පටයේ ඉතාම උද්වේගකර අවස්ථාවකදී ගැයෙන ගීතයකි. ඝටම් සහ මෘදංගම් ප‍්‍රමුඛ වූ මේ ගීතය ඉතාම සුන්දරය. පේ‍්‍රමයේ හෘදයාංගමබව මොනවාට විදහා පායි.

මේ සීත උඳුවප් මස නොවේද?
මේ පූර්ණ සඳ පෑයූ රාත‍්‍රිය නොවේද?
මේ කෘෂ්ණාගේ පැමිණීමට කාලය නොවේද?
නුඹේ මුහුණ එක වරක් හෝ දුටු පසු
මාගේ පාණය නිරුද්ධ වනු ඇත
ඉදින් පැමිනෙන්න පෙම්වත
අහෝ මාගේ මේ දිවියම සිහිනයක්ද .....

හදවත ගිනිගෙන ඇත
කඳුලද දැවී වියැලී යමින් තිබෙයි
මගේ ආත්මයද දියැවී යන්නේ
අත්ලෙහි තැබූ අයිස් කැටයක් දියවන පරිද්දෙනි
එක වරක් හෝ අප දෙදෙනාට නිදහසේ මුණගැසීමට අවස්ථාවක් නැද්ද
අහෝ කවුරුන් හෝ පවසන්න,
කිසිවෙකු විසින් කලාවට ඇති ආදරය නිසා මගේ ආදරයට ගිනිතබන්නේ නම් එය සාධාරණද?

දිලෙන නෘත්‍යාංජලියේ නුඹේ දුක ඉවත දමන්න
හෙට මංගල මල්දම් පලඳින්නට ඇත
කලාවත් ආදරයත් එකසේ ආදරණීයයි
කලාවේ දෙවගන, සරස්වති දේවියේ ඒ බව අපට පවසන්න
ආදරය නිසා කලාව හෝ කලාව නිසා ආදරය නැසෙන්නේ කෙසේද මට පවසන්න

Sunday, February 15, 2015

agar aasman tak mera hath

පි- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම නුඹේ නළලත චන්ද්‍ර තිලකයක් තබමි
තරුවැල් වලින් නළලත සරසමි
ගැ- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම සඳ කිරණින් මල්මාලය ගොතන්නෙමි
ආදරයේ හදගැස්මෙන් එය අලංකාර කොට නුඹට පළඳමි

පි-මගේ ළග හදවත හැර අන් කිසිවක් නැත
ගැ-මේ ලෝකයේ හදවතට වඩා වටිනා යමක් නැත
පි-ඉතින් එහෙනම් මවෙත එන්න මම නුඹව මගේ හදේ රඳවා තබා ගනිමි
ගැ-මා නුඹව මාගේ දෙඅතෙහි රේඛාවන් බවට පත්කොට ගනිමි
මේ සමුදුර මගේ වී නම් ආදරයේ මුතු මේ සයුරේ සගවන්නෙමි
නොඇසුනේද සුපෙම්වත අසන්න මගේ සකිසඳ

ගැ- මගේ පන ඔබෙන් වෙන්වුණොත් නම් මම මියයමි
පි- අනේ සත්තකින්ම එසේ නැවත නොකියන්න මගේ ආදරියේ
ගැ- නුඹේ ප‍්‍රාර්ථනය කුමක්ද මට පවසන්න මගේ පෙම්වත
පි- නුඹේ හදවතේ හදගැස්ම බවට පත්වී සිටීමයි මගේ පැතුම
මේ සුන්දර දස අත විශ්වය මගේ සුරතට ගුලිකර ගතහැකි නම් 
සත්තමයි නුඹ වෙනුවෙන් එය සොරකම් කරමි

Saturday, October 18, 2014

Aansoo Bhi Hain Khushiyaan Bhi Hain

රවීන්ද්‍ර ජෛන් උපතින්ම අන්ධ පුද්ගලයෙකු විය. හේ බොලිවුඞ් සංගීතයට පිවිසුනේ අපූරු ගීත රැුසක්ම නිර්මාණය කරමිනි. මා ඉතා ප‍්‍රිය කරන ගොරි තෙරා ආදි ගීත රැසකම සංගීතවේදියා ඔහුය. විශේෂත්වය ඔහුගේ ගීත බොහොමයක ගේයපදරචකයාද ඔහුම වීමය. අනෙක් කාරණය ඔහුගේ ගීත රැසකම සොබා සෞන්දර්යය වර්ණනා කර සංගීතවත්කොට ඇත්තේ සැබවින්ම ඔහු මේ සොබාදහම දුටු පුද්ගලයෙකු ලෙසිනි. මේ ඔහු විසින් ලියා සංගීතවත් කල ගීතයකි. අරුත්බර පදවැලකි. සාමාන්‍යයෙන් පේ‍්‍රමය ගැනම ලියැවෙන ගීත අතරින් වෙනස්වූවකි.

කඳුලූද වේ සතුටද වේ
කටුද මල්ද වේ
දුකින් සහ සතුටින් පිරී ඇති දෙයකි මේ ජීවිතය
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න

තමන්ට ලැබුනේ කොපමණ දැයි නොසිතන්න
ලැබුනේ ලැබියයුතු උපරිමයයැයි සිතන්න
කරුමෙ කරුමෙ කියමින් නොසිට මහන්සිවී වැඩ කරන්න
අඬන්නත් සිදුවනු ඇත සිනහවන්නත් සිදුවනු ඇත
ලැබෙනවා මෙන්ම නොලැබී දරාගන්නටද සිදුවනවා ඇත
ඔය කියනා තරම් ජීවිතය නරක දෙයක් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න

මිනිස්සු සඳටත් බනිති ඒ ඔවුන්ට පෙනෙන ආකාරයටයි
කෙනෙකුගේ අවගුණයම නොදකින්න ගුණයත් පොඞ්ඩක් සොයන්න
සැහැල්ලූවද වේ බරපතලකමද වේ
මිහිරිබවද තිත්තවූ දේ ද ඇත
තබනා හැම පියවරකම ජීවිතය රසවත් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න

Thursday, October 09, 2014

Kesi Pagali Deewani Meri Kadar Na Jani

කොතරම් සගවා ගත්තාද
එහෙත් සගවාගත නොහැකිය කඳුලූ
ජීවත් වන්නට වුවමනායි
එහෙත් එය කළ නොහැකි ලෙසින් ඇය ගැන මතකය වදදෙයි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
අහෝ හදවත මෙලෙසින් රෝගී වූයේ කෙසේද?
කෙසේ හෝ මහද රෝගී වී ඇත

දෑසින් කෙතරම් සිහින නම් මවාගත්තාද?
සතුට, සතුට හැර දුකක් දැනුනේම නැත
එක්වරම සියල්ල බිඳී විසුණුව ගියේය
හදවත දුකින් බර විය
නුඹ මේ කලේ කවරක්ද
අහෝ නපුරු පෙම්වතිය
දැන් මගේ ජීවිතය දුකින් පිරි කතාවක් බවට පත්ව ඇත
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද

සිතෙහි දහසක් බලාපොරොත්තු තිබුණි
සියල්ල නුඹ විනාශ කළාය
අපහසුවෙන් හුස්ම ගනිමින් මම ජීවත්වන්නට වෙර දරමි
හදවතට මම මෙසේ පවසමි
"කමක් නැත ඇයට වෛර නොකර ආශිර්වාද කල යුතුය"
ඔව්, යන්න ආදරියේ දැන් නුඹේ සියලූ නොදන්නාකම් වලට මම සමාව දෙමි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද

https://gaana.com/song/kaisi-pagli-deewani

Friday, August 29, 2014

Purvaiyya leke chali meri naiyya

හින්දි සිනමා පසුබිම් ගායනයේ මා වඩාත් වසගයට පත් ගායකයෙකුගේ කටහඬක් ඇත්නම් ඒ ශයිලේන්ද්‍ර සිංග් ගේ හඬටය. මේ ඔහු විසින් ගයන ඉතාම මිහිරි ආදර ගීතයකි. මේ ගීතයට සංගීතය රවීන්ද්‍ර ජෛන් විසිනි. ඔහුගේ ගීත සරළය. සුන්දරය. මෙහි රංගනයෙන්ද දායක වන්නේ එවකට තරුණ වියේ සිටි ශයිලේන්ද්‍ර සිංග් මයැ. ඔහුගේ හඬ අපූරු හඬකි.

පෙම්වතිය- පචින සුළග, නුඹ මාගේ නෞකාව ගෙන යන්නේ කොහිද
පෙම්වතා- සුන්දරියේ එය දැනගන්න
නුඹද දැන් මෙහිය මාද දැන් මෙහිය

පෙම්වතිය- සාගරයේ රළ කෙතරම් වෙද
සිතෙහි එතරම් ඉටුවනු දකින සිහින ඇත

පෙම්වතා- මේ මෝසම කෙතරම් සුවදායීද
හැමෝගෙම දෙතොලෙහි ආදර ගීතමය
මනබඳනා පරිසරයයි
අපිත් ගයමු එක්වීමේ මිහිරි ආදර ගීතය

පෙම්වතා- මම නුඹේ දෑස තුල ගිලී යෙමි
මේ ජීවන මංසන්ධියෙහි අතරමං වෙමි

පෙම්වතිය-පෙම්වත ඉදින් බිමට නෙත් යොමු නොකරන්න
මා නුඹේ දැහැනින් අතැර නොදමන්න
ආදරයෙන් උමතුවී
මං සෑම තැනම සොයා යමි නුඹේ හැගුමන්

පෙම්වතිය- මේ සමාජය කුරිරය

පෙම්වතා- ඉන් මිදී අප දුරතකට යා යුතුය

පෙම්වතිය- වෙන්වන්නේ කෙලෙසකද නුඹගේ රුවම මැවෙයි

පෙම්වතා-සෑම සුසුමකම පිරී ඇත්තේ නුඹගේ සුවඳය
ඉදින් මා පැරදුනි ඔබේ ආදරයේ නාමයෙන්

Saturday, April 12, 2014

Deva Tujhya Gabharyala देवा तुझ्या गाभाऱ्याला उंबराच नाही

දෙවියනි නුඹ සිටින්නේ කොතැනකදැයි
සළකුණක් හෝ නැත
මා කොතැනකදී නුඹට වඳින්නදැයි නොවැටහේ 
නුඹ සිටිනා තැන පවසන්න

මා කළ එකම වරද කිසිවෙකුට ආදරය කිරීම පමණයි
එක් වරක් මට සවන් දෙන්න
මගේ ආත්මය දැවෙන හැටි නුඹට හෝ දැනේවි නම්
නුඹ මෙතරම් රලූවූයේ කෙසේද?

ඇයිද, කෙදිනද, කොතැනකදීද,
මට මගේ දුටු සිහින අහිමි වූයේ
මට මගේ ආදරය අහිමි වූයේ

අහෝ දෙවියනි ඔබ අප මැවූ දා ඇරඹු
ජීවන සෙල්ලම නවතන්නේ නැතිද?
ජීවිත අහිමිවීමත් බැඳීමක් බිඳිමක්
ජීවිතයට හද පාරන තුවාලයක් වූයේ කෙසේද?

ජීවිතයේ විසඳුම් ඇයි ගැටලූ බවට පත්වන්නේ
පරතර අතර නොවැටහෙන පරතරයක් මැවෙන්නේ ඇයි

Singer : Aadarsh Shinde - Kirti Killedar
Movie : Duniyadari (2013)

Saturday, November 02, 2013

safer main dhoop to hogi

ගමනෙහි ගිනිඅව්වද වෙයි එහි දැවෙන්නට හැකිනම් පමණක් යන්න
සැවොම එක්ව වසද්දී සියල්ලන් අතහරින්නට හැකිනම් පමණක් යන්න

කිසිවෙකු නිසා හෝ මග වෙනස් වන්නේ නැත
ඔබටම ඔබව වෙනස්කොට ගතහැකිනම් පමණක් යන්න

මෙහි කිසිවෙකු කිසිවෙකුට මග කියා දෙන්නේ නැත
මාව අතැර දමා ඔබට යා හැකියැයි සිතනවානම් පමණක් යන්න

මේ තමා අප ලද ජීවිතය සිහින සහ බලාපොරොත්තු කිහිපයක් ඇති
ඒ කිහිපයෙන් ඔබට සිත සනසාගෙන යා හැකිනම් පමණක් යන්න