Wednesday, July 29, 2009

tu ne khat mein likha

ඉතාම සුන්දර ගසල් ගායනයක් වූ මෙම ගීතය ගායනා කරන්නේ ජස්වන්ත් සිංග්ය. රිෂ්තා නම් ගීත ඇල්බමයෙන් උපුටාගන්නා ලදි.

ඔබ ලිපියෙහි දන්වා ඇත
ඔබව අමතක කර දමන ලෙස
එහෙත් ඔබ ලියා නැත
එය කළයුත්තේ කෙලෙසකදැයි

මහ වැස්සේ අපගේ පළමු හමුවීම
මම කෙලෙස අමතක කරන්නද?
තෙමී සිටි ඔබගේ ලජ්ජාවෙන් රතුවූ මුහුණ
එදා ඔබ දෙවඟනක්ද නොව
දෙවඟනකට වඩා සුන්දරයැයි මම සිතුවෙමි

ඔබ මගේ සුසුමය
ඔබ මගේ හද ගැස්මය
මා මෙය ඔබට කිව යුත්තේ කෙලෙසකින්දැයි
මට කියා දෙන්න

මගෙ හදවතට දැනෙන්නේ
ඔබ මගේ ජීවිතය වී ඇති බවය
ඔබ දෙව්ලොවට සරිලන
සුන්දරම නිමැවුමකි
ඔබේ ආලෝකයෙන් සූර්යයා ප්‍රභාමත්වේ
එහෙයින් ඔබ සිනහවන විට සඳද සැඟව යන්නීය

මගෙ හදෙහි මා මැවූ එකම ප්‍රතිමාව ඔබය
එය ඔබට කොහොම විශ්වාස කරවන්නද මම

දනිමි මම ඔබ ඉතාම අසරණව මේ ලිපිය ලියා ඇති බව
ඔබේ වේදනාකාරී තත්ත්වය ගැන මට වැටහේ
නිවසේ නම්බුව නිසා ඔබ නිහ`ඩව ඇත
අන් ලෙසකින් ඔබ කෙදිනකවත් මට වූ පොරොන්දුවක්
බිඳ දමන්නේ නැත
අද මම ඔබේ ජීවිතයෙන් බොහෝ ඈතට යමි
නැවත ඔබ පිළිබඳ මතකයට නොගන්නට
මම හැකි වෙර දරමි


Monday, July 27, 2009

Tere dar par sanam

පකිස්ථානු ජාතික ඛාතිල් ශිපාහී නම් කවියා විසින් රචිත තේරේ දර් පර් සනම් පද රචනය ඉතා සරළ සුගම පැදි පෙළකි.

මෙය පළමුව පකිස්ථානයේදී ගායනා වුවත් දෙවනුව ඉන්දියාවේ නිශ්පාදිත හින්දි චිත්‍රපටයක් වූ නීන්ද් (1959) සඳහා ලබාදී එය උර්දු ගායිකා නූර්ජහාන් විසින් රාශිද් අත්තර්ගේ සංගීතයට ගයන ලදි.

තෙවනුව එය නැවතත් කුමාර් සානු සහ සාධනා සර්ගම් විසින් ඵිර් තෙරී කහානි යාද් ආයී චිත්‍රපටය සඳහා අනූ මලික්ගේ සංගීතයට ගයන ලදි. දෙවන ගීතයට වඩා තෙවන ගීතයේ සංගීතයද වෙනස් වූ අතර දර්ශනවල අමු අමුවේ ශෘංගාරය ඔබන්නට වෙර දරා ඇති බවද පැහැදිලිය. ඔබේ රස වින්දනය උදෙසා ගීත තුනෙහිම වීඩියෝ මේ සමග දක්වා ඇත.

පෙම්වත, ඔබේ නිවෙස වෙත ආවෙමි
ඔබ මවෙත නොපැමිණි නිසා
මම ඔබේ නිවෙස වෙත ආවෙමි

ඔබ නැතිව කිසිදු ආසාවක් නැත
කිසිදු දෙයකට
මෙතරම් පුල පුලා සිටියද
පිපාසාවක් හෝ නොදැනිනි

හදවත ගැහෙන්නට විය
ගතවූ සෑම මොහොතකම
පා බැඳි නූපුරයන්හි හඬ අසන්න
නැවත ඔබේ පියවර පසුපස මම ආවෙමි

මින් පෙර සෑම රැයක්ම මට ගතකල හැකිවිය
එහෙත් අවසානයේ එසේ නොවීය
සිතෙහි බියමුසු සැකය සමගින්
මම ඔබේ නිවෙස වෙත ආවෙමි







Chaudvin Ka Chand

ඔබ පුරහඳය, නැතහොත් සූර්යාංගනාවය
කවරක් වුවත් දෙවියන්ගේ නාමෙට
ඔබ නම් රුවින් අසමසමය

වරළස ඔබේ උරහිස් මත වලා මෙන් කඩා හැලෙයි
දෑස මධුපැන් කුසලානයක් බඳුය
ඔබ ආදරයෙන් කුල්මත්වූ යුවතියකි

ඔබේ මුහුණ විලෙහි රඟන නෙළුමක් වැනිය
නැතහොත් ජීවන වීණාවෙහි වැයෙන
සුන්දර ගසල් ගායනයක් වැනිය

වසන්තයේ සුන්දරාවිය ඔබ
කවියෙකුගේ සිහිනයකි

ඔබේ හසරැල් විදුලිය මෙන් දෙතොලෙහි ඇඳී යයි
දේදුණු ඔබ යන මගෙහි ඉදිරියෙන් මැවෙයි
ආදරයෙත් සුන්දරත්වයෙත් තෝතැන්න වූ ලොවක
ආලෝකය ඔබමය


Yuun Hasaraton Ke Daag

මෙලෙසින් ආශාවන් නමැති දහසක් පැල්ලම්
ආදරය නම් ගගුලෙහි දොවා මකා දැමීමි
හදවතෙහි ඇති දේ හදවත සමග පමණක් පවසා
තනිව හැඬුවෙමි

සතුට සොයා නිවසින් පිටතට අවුත් සැරුවෙමි
යන මගෙහි වේදනාව පමණක් රැඳී තිබුණි
ඉදින් මම එය රැගෙන ගියෙමි

බිඳී ගියද මහද එය හදවතක්ම නොවෙද
මලක් වැනි හදවතක් නොවෙද
දැන් එය බාර ඔබටය
එය කටු වලින් පහුරු ගෑමද බාර ඔබටමය

ලොවට මුනිවත රකින විට මා
ලොවම මගෙන් විමසුවේ නිහඬව නොසිට
යමක් පවසන්නට කියාය
මම හදවතෙහි ඇති දේ හදවත සමග පමණක් පවසා
තනිව හැඬුවෙමි


phoolon ka taron ka

සොයුරු පෙම ගැන ලියැවුණු අපූරු ගීතයකි මේ. එහි කිශෝර් කුමාර් ගේ ගායනයද ඉතාමත් සිත් ඇදගන්නා සුළුය.

මල්ද තරුද කියන්නේ
නුඹ දහසකින් සොයාගත නොහැකි සොයුරියක් බවය
මගේ දිවිය පුරාවට අපි සොයුරු පෙමින් බැඳී සිටිමු

ලොවට වටහාගත නොහැකිය
නුඹ සොවින් ඉන්නේ ඇයිද කියා
නමුදු මට වැටහේ නුඹේ දෑසෙහි ඇත්තේ
ආදරය පිළිබඳ සිතුවිලිය
අවුත් මට පවසන්න නුඹ සඟවාගෙන සිටිනා කරුණ

විස්කම් කරුවෙකුගේ නිර්මාණයක්දැයි
නැතහොත් නුඹ ජපන් බෝනික්කියක්දැයි සිතාගත නොහැක
මව පියා සැමෝම කියන්නේ
නුඹ දහසකින් සොයාගත නොහැකි සොයුරියක් බවය

නුඹ මගේ දෑසට පෙනෙන මානයෙන් ඉවතට ගියදා සිට
මගේ සිහින පාළුවට ගියේය
දෑසට නින්දත් සිතට අස්වැසිල්ලත් නැත

නුඹත් මාත් එක අත්තක පිමුණු මල් දෙකකි
මට කිසිවක් අමතකව ගොස් නැත
පුදුමයි නුඹට කෙලෙසින්ද මේ හැම දෙයක්ම අමතකව ගියේ
අවුත් මට පවසන්න නුඹ සඟවාගෙන සිටිනා කරුණ

ජීවිතයේ දුක් කම්කටොළු වලින් බියවී පලක් නැත
සත්‍යයට බියව පලා යාමටද නොහැකිය
අප සතුටට මොන තරම් ආස කලද දුකද විඳ ගතයුතුමය
නුඹ දහසකින් සොයාගත නොහැකි සොයුරියකි

Get this widget | Track details | eSnips Social DNA

Sunday, July 26, 2009

Barsaat ke mousam mein

මෝසම් වැස්සේ
තනිකමත් සමගින්
මම නිවසින් නික්ම ආවෙමි
මත්පැන් බෝතලයක්ද රැගෙන
දැන් මම ජීවත්වෙමි
එලෙසින්ම මට ජීවත්වන්නට ඉඩ දෙන්න

සුන්වූ ජීවිතයක් ගත කරන්නට මට ඕනෑ නැත
සවස් යාමයට පමණක් මත්පැන් පානය සීමා කරන්නට ඕනෑ නැත
මිතුර අද මත්පැන් වීදුරු කුඩුකර දමමු
මුළු අවන්හලම පානය කරමු
වෙනදට අවන්හලේදි පමණක් මත්පැන් බොන අපි
අද මාවත දිගෙත් බිබී යමු

සමාජය ඇති කරන පීඩාවන් තමා මගේ සතුරන්
මත්පැන් බිව් පසු සතුරන් අඩු වේ
සමාජ පීඩාව දරාගන්නට මට නොහැකිය
නොබී මා අද ජීවත්වන්නේ කෙලෙසකද
මට ඉරණම සමගින් ගැටෙන්නට සිදුව ඇත
අද මට බීමත්කම ඉරණම කරගන්නට ඉඩ දෙන්න

අද සැඳෑව බොහෝ වෙහෙසකරය
අද රාත්‍රිය බොහෝ සුන්දරය
අද සැඳෑව කෙලෙස ගත කරන්නද
අද රාත්‍රිය කෙලෙස ගෙවා දමන්නද
ගින්දරකින් හදවතෙහි ගින්දර නිවා දමන්නෙමි
අද මට ඒ ගින්දරත් බොන්නට දෙන්න


Tuesday, July 21, 2009

gori tera gaon bada

මේ ගීතය මා මුලින්ම ඇසූ හින්දි ගීතයයැයි කීවොත් නිවැරදිය. මා ඉතාම කුඩා වියේදී ගුවන්විදුලියේ ප්‍රචාරය වූ මේ ගීතයට මා කෙතරම් ඇදී ගියාදැයි කිවහොත් ඉන් මා සංගීතයට බොහෝ ලොල් විය. අදටත් කෙතරම් ශාස්ත්‍රීය ගීත ඇසුවත් විවිධ ගීත සොයා එකතු කලත් මේ ගීතයට මගේ ඇති ලැදියාව මුල් තැනෙහිම තබා ඇත්තෙමි.

සොඳුරිය
ගමම නුඹේ මනකල් පැමිණි මහද සැමකල්
උමතුවුණා වේ
එලෙසින් රුවද නුඹගෙ දුටු කල් පිරෙන සඳද සුවිපුල්
පිරුණු සඳක් වේ

රඟදෙන මොණරුන් විදහාගෙන පිල්
පා මත බැඳ රසු දැල්
හඬදෙන කොවුලන් ගෙලවට පලඳම්
මාලා බැඳ පිපි මල්

මෙහිමය කූඩුවුණේ විහගුන් සොයන වනේ පරඬැල්
එවැනි ගමකි මේ

සොඳුරිය
ගමම නුඹේ මනකල් පැමිණි මහද සැමකල්
උමතුවුණා වේ
උමතුවුණාවේ

නෙක නෙක පාටින් පිපෙනා වනමල්
සදිසිය දන රැකි සිල්
ආවේ නම් මෙහි කිසිවෙකු නොම යයි
විඳ මෙහි සුව සුවිසල්

පිරි දිය ඇලිද විදා දිය රැල් මහද උදුර ගිය කල්
ඇදී ගියාවේ

එලෙසින් රුවද නුඹගෙ දුටු කල් පිරෙන සඳද සුවිපුල්
පිරුණු සඳක් වේ
පිරුණු සඳක් වේ

ආගන්තුකයන් හා සුහදව තෙපලා
සලකති සැම වී මුල්
මින් පෙර භවයේ මා සිටියාදැයි
නොදනිමි මෙහි බැඳ පැල්

සිතුවිලි සරන සිතේ නිවහල් තුටින කියන මිනිසුන්
සිටින තැනකි මේ

සොඳුරිය
ගමම නුඹේ මනකල් පැමිණි මහද සැමකල්
උමතුවුණා වේ
උමතු වුණාවේ


Monday, July 20, 2009

koi paas aya

ජග්ජීත් සිංග් විසින් ගයනු ලබන මෙම ගසල් ගායනය විරල මෙන්ම ඉහළ ශාස්ත්‍රීය ගුණාංග පිරි නිර්මාණයකි. භාරතීය මීවිත ගීපොත ගැහැණිය සම්ප්‍රදායේ පද රචනයක් වන මෙම ගසල් ගායනයේ සංගීතමය වැදගත්කම ඉහළ තැනකට එසවෙන්නේ මේ සඳහා ලලිත් රාගය අපූරුවට යොදාගැනීම නිසාය. ගායනයේදී ගායකයා විසින් රාගයේ ගුණාංග විනාශ නොකොට ගැයීමට අපූරුවට සමත්වී ඇති අතරම අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් යොදා ගනිමින් රාගයේ තීව්රභාවය කටහඩින් මතු කිරීමට වෙර දරා ඇත. ලංකාවේ සංගීතය ප්‍රගුණ කරන සිසුන්ටද ගසල් ගීතලෝලීන්ටද මෙය මහත් වටිනා ගීතයකි.


කිසිවෙකු මා අසලට අළුයම් යාමයේ පැමිණීයේය
අවුත් මා දෙස විමසුම් නෙතින් පිරික්සුවේය

මා වත්තන් කරනට උත්සාහ දරමින්
මොනවදෝ මහට පැවසීය අළුයම් යාමයේ

පෙරදින රාත්‍රියේ සිහියෙන් සිටින්නයැයි කීවේ යම් තැනකද
එතැන්හිම පය පැටලි පැටලී සිටියෙමි අළුයම් යාමයේ


මුළු රැයම මම මගේ අවන්හලේ ගතකලෙමි
දෙවියනි නුඹගේ සිහිය මසිතට ආවේ අළුයම් යාමයේය




Punjabi-Mobile.Com - -


Found at bee mp3 search engine

Sunday, July 19, 2009

Mera salaam leja

මගේ ආශිර්වාදය රැගෙන යන්න
හදවතෙහි සංදේශය රැගෙන යන්න
ආදරයේ සංකේතය රැගෙන යන්න
මායාකාර මගිය,

සුළෙඟහි පියා සරමින්
වලාවන්හි සෙවනැල්ලෙහි ඇදෙන
ඔබ කවර ගමකට යන්නේද?

පහල මහපොළවයි
සුන්දරවු ලෝකයයි
මහද මතුරනුයේ ඔබ මෙහි එන බවය

ඔතරම් අවදානම් ලෙසින් ඉහලින් සරමින්
ඉදිරියෙන් එන කුණාටු ගැන නොතකා
කොහි යනවාද?

ගමනාන්තය දුරය
ඔබ ද වෙහෙසකරය
මම දනිමි
ඔබ නැවත පැමිණෙයි


Meet na mila re man ka

හදවත සොයන සහකාරිය මුන ගැසුනේ නැත
කිසිවෙකු හෝ මට උපායක් පවසන්නේ නම් මැනවි

නිවසෙත් පිටතත් නැත සිතට අස්වැසිල්ලක්
සිත විටෙක පොළවෙත් විටෙක අහසෙත් සරයි
ඇයව සෑම මාවතකම, නගරයකම සෙවීමි
සෑම වීදියකම දෙනෙත් වෙහෙස කලෙමි

සැමදාම මම මගේ සිත අස්වැසීමි
එහෙත් ඇය මුට මුණ නොගැසී යනු ඇතැයි
සිතන්නටවත් නොහැකිය
සෑම සැඳෑවකම මම ආදරයේ පහන දල්වීමි
එහෙත් හිරු උදාවෙත්ම යලි නිවා දමමි
හදවත සොයන සහකාරිය මුන ගැසුනේ නැත


බොහෝ කාලයක් තිස්සේ මේ සිතුවිලි
මගේ හදවතෙහි නැලවෙයි
සුන්දර ආදරබර රාග ගැයුවෙමි
එකදු පෙම්වතියක් හෝ කවුළුවක් විවර කර
මදෙස බැලූවේ නැත
සිය දහස් ගණනක් ආදරයේ තරානා හඬ ගෑවෙමි
එහෙත් තවමත් හදවත සොයන සහකාරිය
මුන ගැසුනේ නැත